නොසැගවුණු වෙඩික්කාරයා නීරෝ

යුද්දේදී සාමාන්‍ය සෙබලුන් භාවිතා කලේ T56 ගිනි අවියය. එම අවිය ලොව පුරා සටන් සඳහා භාවිතා කරන ඉතා පහසුවෙන් හැසිරවිය හැකි සරල අවියකි. ඉන් පිටවන පතුරමක් මීටර 300- 400 සීමාව දක්වා මාරාන්තික විය හැකිය. ඉන් අනතුරැව උන්ඩය ගමන් කලත් ක්‍රමයෙන් සැර බාලවී මීටර 700 පමණ වන විට පිපිරීගොස් විනාශ වී යයි.

ස්නයිපර් වෙඩික් කරැවන්ගේ අවිය ඊට හාත් පසින්ම වෙනස්ය. පතුරම ඉතා සිහිනිය. මාරාන්තික සීමාව මීටර 700 සිට කිමි 1 දක්වා පමණ වෙයි.

සැඟවී සිට සතුරැ සීමාවෙන් ඔබ්බෙහි වූ ඉලක්ක ලබා ගෑනීමට දුරදක්නද සවිකල මෙම අවිය කියාපු සම්පතකි. එම අවිද හොඳින් පුහුණුකල එම අවි හැසිරවිය හැකි ස්නයිපර් වෙඩික් කරැවන්ද රණ බිමට සම්පතකි.

ඉදිරි ආරක්ෂක වළල්ලෙහි නිරන්තර භීෂණය පැතිරවූවෝ ඔවූහුය. සටන් නැති මොහොතකවත් ඔලුව එලියට ගැනීමට කාටවත් සැනසීමක් නොලැබුනේ මෙම වෙඩික්කරුවන් නිසාය. ඔවුන් නිරන්තරයෙන් සැඟව සිට සතුරන් බිලිබාගත්තේ යුධ හමුදා ගමනට මහත් ධෛර්යයක් වෙමිනි. විෂේශයෙන් ඉදිරි ආරක්ෂක වළල්ලට අණ දෙන නායකයෝ මෙම වෙඩික්කරුවන්ගේ ගොදුරැ බවට පත්වූහ.

එවැනි වෙඩික් කරැවන් කොටින්ටද සිටියේය. එවන් භීෂණයක් අප හමුදා වෙතද එල්ල කිරීමට ඔවුන්ද සමත් වූයේය.

වරෙක එලි බැහීමට රාත්‍රී වන තුරැ සිටි සෙන්ටියෙකුට ඔහු බිම ඉඳ මලපහ කරන අවස්ථාවේ සතුරැ ස්නයිපර් පහරක් එල්ල වූනි. ඔහුගේ වාසනාවට උන්ඩය එල්ල වූ මොහොතේම ඔහු මලපහ අවසන් කොට නැගිට්ටේය. ඒ වන විටත් අවියෙන් නිකුත් වූ උණ්ඩය ඔහුගේ තට්ටම් දෙකම පසාරැ කරගෙන පිටවී ගියේය.

තවත් වරෙක රාත්‍රියේ සිගරට්ටුවක් දල්වාගත් සෙන්ටියක් ස්නයිපර් ප්‍රහාරයට ලක්වූයේය. වාසනාවකට ඔහු කට අරින මොහොතක ඔහුගේ කම්මුල සිපගත් එම උණ්ඩය දතකටදු කිසිමහානියක් නොකර අනෙක් කම්මුලෙන් පිටවී ගියේ කම්මුල් දෙකම හිල් කරමිනි.

බොහෝවිට මාරාන්තික ප්‍රදේශයක් තෝරා එල්ල කරන මෙම ස්නයිපර් ප්‍රහාරයක් අසාර්ථක වන්නේ නැත. නලල මැද්දට, පපුව මැද්දට, බෙල්ල මැද්දට හෝ හිසට එල්ල කරන මෙම ප්‍රහාර අසාර්ථක වන්නේ කලාතුරකිනි. එලෙස ප්‍රහාරයට ලක්වී මියගිය හමුදා සෙබලුන්ගේ තුවාල පරීක්ෂා කිරීමෙදී එය වැටහුනි. එම උණ්ඩ කෙරතම් නිවැරදිව ඉලක්ක ගත කරන්න ඇද්දැයි එවිට සිතෙන්නේය. එක් සෙබලකුගේ බෙල්ලේ හරි මැදට එල්ලවූ ස්නයිපර් උණ්ඩයක් ඔහුගේ ස්වාස නාලයද, අහාර ගමන් කරනා නාලයද, කොඳුඇට පෙලද අනතුරැව සුසුම්නාවද හිල් කරමින් පිටවී තිබින. ඔහුගේ ස්වාසනාලයට tracheotomy බටයක් දමා, බෙල්ලට කොලරයක් දමා, දොර පලුවකට තබා පස් පොලකින් බෑඳ හෙලිකොප්ටරයේන් අනුරාධපුරයේ පිටත් කලේමි. ඔහු බෙල්ලෙන් පහල කිසිවක් වැඩ නොකරන අබාධිතයෙක් වන්නේය.

දිනක් උදෑසනක මා නැගීටීමට පෙරම කොල්ලෙක් ඇවිත් මා අවදි කලේය. ” සර් නැගිට්න්න නැගිටින්න. කෝප්‍රල් කෙනෙක් තුවාල වෙලා ගේනවලු. බ්‍රිගෙට් කමාන්ඩත් එනවලු බලන්න” මොකක්ද බං ඒ හරැපේ. කෝප්‍රල්ලා තුවාල වීම යනු එදිනෙදා බහුලව සිදුවන්නකි. ඒත් බ්‍රිගේඩ් කමාන්ඩර් මොකටද ඒකට එන්නේ. පිලිතුර සෙවීමට මා එලියට ආවෙමි.

එක හෙල්මේ ඈතින් දුවිලි අවුස්සන් කැබ් රථයක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට අප දෙසට එයි. ඊට විරැද්ධ පැත්තෙන් ඈතින් තව කැබ් රථ පේලියක් අප දෙසට ඇදෙයි.

තනි කැබ් රථය ක්‍රාස් ගා බ්‍රේක්ගසා මා ඉදිරිපිට නැවැත්වීය. එ⁣හි පිටිපස්සේ වූයේ එක් සෙබලෙකි. තරමක් උසවූ ,තරමක් කෙසඟ සිරැරක්ද හිමි ඔහු තරමක් රැවුලද වවා සිටියේය. මූණපුරා පිරීගිය හිනාවකි. ඉතා තෘප්තියෙන් පසු වන්නෙකුගේ සේයාවක් එම මුහුනෙන් පෙනෙයි. යමෙක් යම් ශිල්පයක් ප්‍රගුණ කර එහි කෙල පැමිණිවිට ඇතිවන අධික ආත්මවිශ්වාසයෙන් ඔහු පිරිපුන්ය.

එම සිනාවෙන්ම තුවාල කරැ මාගේ තුවාලකරැවන්ට ප්‍රතිකාර කරන අට්ටාලයට අතුලුවිය. ” සර් මම කෝප්‍රල් රංජිත්. ආටියක් ලඟ පිපුරැවා. මම හැංගිලා හිටියේ , ඒක් කෑල්ලක් පිටට වැදුනා.” තවමත් වෙන දේ ගැන අවබෝධයක් නොවූ මම ඔහුගේ තුවාලයට ප්‍රතිකාර කිරීම ඇරඹුවෙමි. ඒ අතරතුර ඒ දීප්තිමත් මුහුනේ සිනාව සමඟ ඔහු මට කතා කලේය. ” සර් තව ටිකයි ගේම. අපි මේක දිනනවා. මගේ දරැවන්ට මම යුද්ධයක් එක්ක රට බාර දෙන්නේ නෑ. සර් මාව පස්සට යවන්න එපා. තුවාලෙට බෙහෙත් දාලා මෙතනම තියා ගන්න. මේ වෙලාවේ දාලා යන්න බෑ.” මෝටාර් කැබැල්ලක් දකුණු උරයට පිටතින් හම කපං ලිස්සා ගහින්ය. තුවාලය සරලය. එහෙත් ශල්‍යකර්මයක් කර සුද්දකර මැසිය යුතුය. ” හරි මම බලන්නම් වැඩේ කරන්න. එහෙනම් ඉමු” මම ඔහුට කීවෙමි.

කතාව අතරතුර අනෙක් පසින් පැමිනි කැබ් රථ පෙල අප ඉදිරියේ නතර වුනි. ඉන් බැසගත්තේ 58 වන සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වාය. බ්‍රිගේඩ් කමාන්ඩර් වරැන් ඔහු පිරිවරාය. ඔහු කෙලින්ම ගොස් රංජිත්ට කතා කලේය.

මට උපදෙස් ලැබුනේය. කෝප්‍රල්ව අනුරාධපුරයට යවන්න. අණ ක්‍රියාත්මක වුනි. කෝප්‍රල් රංජිත් ප්‍රතිකාර සඳහා පිටත්විය.

සතියක් ගතවිය. සාජන්ලා තුන් දෙනෙක් බෙහෙත් ගැනීමට මා සමීපයට පැමිනියේය. ” සර් අපි ස්නයිපර්ස් ලා. ඇත්තම කියන්නම්. අපිට දැන් හැංගෙන්න තැන් නෑ. ගස් ඔක්කොම ගිනි අරං පිච්චිලා. විනාශ වෙලා එලිවෙලා. අපි දැං ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන්ම අපිට වෙඩි වැදිලා මැරෙනවා. දැන් ස්නයිපර්ස්ලට කරන්න තියෙන දෙ කරන්න බෑ. එ හින්ද අපිට ලෙඩ නිවාඩු දීලා පස්සට යවන්න. නැත්තම් අපි ඉවරයි.” ගැඹුරැ හුස්මක් ගත් මා නැවතත් සිතා බැලුවෙමි.

කතාව ඇත්තය. පුදුකුඩිඉරුප්පුවට කිට්ටුවී සිටි අපට පැහැදිලිව දිස්වූයේ කාන්තාරී කරනය වී ඇති බිම්ය. පොල් ගස් වල කරටි නැත. තල් ගස් මුලින්ම ගිනි අරංය. සැඟවුනු

වෙඩික්කාරයෙකුට සැඟවීමට ඉහල ස්ථානයක් නැත. මම ඔවුනට උදව් කිරීමට සිතුවෙම්. එක් අයෙකුට ලෙඩ නිවාඩු දී ගෙදර යැව්වේය. තවකෙකුව අනුරාධපුරයේ වැඩි දුර ප්‍රතිකාරයැයි පවසා මාරැ කරවූයේය. තුන් වැනියා කඳවුරැ ගත කලේය.

මාගේ නිවාඩුව පැමිණි හෙයින් ඉන් දින කීපයකින් මා ගෙදර ආවේය. දින 8ක් නිවාඩු ගැනීමට නම් නොහැක. ගතවූයේ දින 5කි. මා නැවතත් අනුරාධපුරයේ යුධ හමුදා රෝහලට වාර්තා කලේය. රංජිත් ශල්‍යකර්මයකට භාජනය වී දින 10ක් ලෙඩ නිවාඩු දී ගෙදර යවා ඇත. ඔහු මට හමුවූයේ නැත.

රංජිත් දෛවෝපගත ගමනක් පිටත් වී ඇත්තේය. ලෙඩ නිවාඩුව ඉවර වනතුරැ ගෙදර නොසිටි ඔහුද රාජකාරියට වාර්තා කලේය. යුද්දයේ අවසන් වන මොහොත මඟ ඇරගැනීමට තමන් මෙතරම් දුරක් ඇදගෙන ආ ගමන අන්තිම කොටසට නොයෑමට ඔහු අකමැති වන්නට ඇත.

ඔහු රණ බිමට නැවත පය තැබුවේ අනතුර නොදැන නොවේය. ඔහු උරැම කරගත් ඔහුගේ තාරුණ්‍යය ඩැහැගත් යුද්දය ඊළඟ පරපුරට ඉතුරැ නොකරන්නට ඔහු ඔහුටම පොරොන්දු වීසිටියේය.

නමුත් ඔහු එය සියැසින් දැක ගැනීමට වාසනාවන්ත නොවුනේය. කොටි ස්නයිපර් වෙඩික්කරැවෙකු නන්දිකඩල් ආසන්නයේදී රංජිත්ගේ හිස්මුදුන සිපගත්තේය. සටන් බිම වීරයා කෝප්‍රල් රංජිත් හෙවත් සැඟවුනු වෙඩික්කරැ නීරෝ ලක්මාතාවගේ වායු තලයට සිය හුස්ම පොද එක්කර නිවී ගියේය.

©️Pathum Kerner

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *