පොලීසියේ දාහක් මහනුවරට ඇතුලු වෙයි – අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලාත් එතන , තෙල්දෙනියේ අලුත්ම තත්වය මෙන්න

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ හටගත් නොසන්සුන්තාවය මර්ධනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පොලිස් නිළධාරීන් දහසක පමණ පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයට කැදවා තිබෙන බව වාර්තා වෙනවා .

ඉන්ධන හලක් අසලදී පසුගියදා සිදුව ඇති පහරදීමකින් මියගිය දෙදරු පියකුගේ අවසන් කටයුතු ඊයේ (05දා) දිනයේ පස්වරුවේ අවිමාලේ ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතව තිබියදී මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇතිවී තිබුණු අතර ඔහුට පහරදී මරා දැමීම සම්බන්ධයෙන් එම විරෝධතාව පැවැත්විණි. මේ අවස්ථාවට අම්පාරේ මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි හා මිල්ලැත්වේ ධම්මරතන හිමි ඇතුළු ප්‍රදේශයේ විහාරස්ථාන රැසක හිමිවරු එක්ව සිටියහ.

කුපිත වූ පිරිස් මහනුවර, මහියංගණය මාර්ගය අවහිර කර දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවල ටයර් පුලුස්සා විරෝධතා දැක්වූ අතර මේ හේතුවෙන් මහනුවර, මහියංගණ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබිණි.

ඇතැම් පිරිස් වාහනවල හුළං ඇරීම නිසා එම වාහන අතරමඟ නැවතී තිබූ අතර ඇතැම් පිරිස් දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල සුදු කොඩි ඔසවා විරෝධය පළ කළහ.

මෙම විරෝධතාකරුවන්ට සහාය පළකරමින් තෙල්දෙණිය, මැණික්හින්න, කෙන්ගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක කඩසාප්පු වසා දමා තිබුණු අතර විරෝධතාකරුවන්ගේ පහරදීම හේතුවෙන් වෙළෙඳසල් කිහිපයකටද අලාභහානි සිදුව තිබිණි.

විරෝධතාකරුවන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය ඉහළ යෑමත් සමඟම ඔවුන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඔවුන් විසිරුවා හැරීමටද පොලිසිය ඊයේ පස්වරුවේ පියවර ගත්හ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා ඔවුන් පාලනය කිරීමට පියවර ගත්හ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කැරැලි මර්දන කණ්ඩායම් හා විශේෂ කාර්ය බළකා කණ්ඩායම් තෙල්දෙණිය කරලියැද්ද නව නගරයේ ස්ථාන රැසක මාර්ග බාධක යෙදවීමටද කටයුතු කර තිබිණි.

වෙළෙඳසල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයන් 24 දෙනකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.