මස් කඩයේ අයිතිය හිමිකරගත් ඥානරතන හිමියන්ට දැන් වෙන්න යන දේ

මතුගම නගරයේ පවත්වාගෙන යන ගව මස් වෙළඳ සැළක 2018 වසරේ ටෙන්ඩරය පසුගිය වසරේදී බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගැනීම රටේම කතාබහට ලක්වුණා.

මෙලෙස ගව මස් හලේ නීත්‍යනුකූල බලපත්‍රය ලබාගත් මාවිට ඥානරතන හිමියන් මාධ්‍යය හමුවේ කියා සිටියේ 2018 ජනවාරි පළමුවැනිදා සිට පූජනීය නගරයක් වූ මතුගම ජනතාව හරක් මස් කෑමෙන් මුදාගන්නා බවයි.

එසේම ඓතිහාසික පූජනීය නගරයක් වූ මතුගම ජනතාව ගව මස් ඉල්ලා නැති නිසා ගව මස් කඩය වසා දැමීමෙන් මිනිසුන් එලොව මෙලොව පවින් මුදාගන්නා අතර අහිංසක ගවයන්ට අභය දානය ලැබෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් උන්වහන්සේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලබාගත් ටෙන්ඩරය මේ වන විට අවලංගු වී ඇති බව සඳහන් වන අතර ඒ පිළිබඳව මතුගම ප්‍රාද‍ෙශීය සභාවේ ලේකම්වරයා උන්වහන්සේට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මෙම ටෙන්ඩරයේ දෙවන ඉල්ලුම්කරු වන මොහොමඩ් ෆාසිට මස් වෙළඳ සැළ සඳහා මුදල් ගෙවන ලෙස ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා දැනුම් දී තිබෙන බවද වාර්තා වෙනවා.

ටෙන්ඩරය ලබාගත් දින සිට අදාළ වෙළඳ සැල විවෘතව තැබීම ගිවිසුම්ගත කොන්දේසියක් වන අතර 2018 වසරේ ටෙන්ඩරය ලබාගත් පසු වෙළඳසැළ විවෘත නොකිරීම නිසා මෙලෙස ටෙන්ඩරය අවලංගු කර ඇති බවයි සඳහන් වෙන්නේ.