දුවලා දෙන්නයි පුතාලා දෙන්නයි එකවර මෙලොවට බිහිකරපු පින්බර අම්මා ….

ද සොයිසා කාන්තා රෝහ‍ලේ නොමේරු ළදරු ඒකකය කවදත් කාර්ය බහුල තැනක් විය. එහෙත් පසුගිය සඳුදා උදෑසන එම ඒකකයේ වෙනදාට නොතිබුණු කලබලකාරි බවක් දිස් විය. බේබි ඇඳන් (කොට්) හතරක් ලහි ලහියේ සූදානම් කෙරුණි. තවත් නොබෝ වේලාවකින් එම කොට් හතර නොමේරූ දරුවන්ගෙන් පිරෙනු නොඅනුමානය. එකවර දරුවන් හතර දෙනෙකුගේ මව් පියන් වීමේ වාසනාව උදාකර ගැනීමට ගුවන් හමුදාවේ සේවයේ නියුතු 29 හැවිරිදි කෝප්‍රල් අයේෂා දිල්හානි හා තිස්හැවිරිදි කෝප්‍රල් තාරින් ලක්මාල් යුවළට හැකි විය.

මීට වසර තුනකට එපිට දී විවාහ පත් වූ ඔවුහු දරු සුරතල් බැලීමට මග බලා සිටියහ. ඒ බලා‍පොරොත්තුව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඉටුකර ගැනීමට එම යුවළට හැකි විය. ඇගේ කුළුඳුල් දරු ප්‍රසූතිය සිදුකර ගැනීම සඳහා මුලින්ම ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් ද සිල්වා මහතා වෙතය. අයේෂාව පරීක්ෂා කර බැලූ වෛද්‍ය රුවන්ද සිල්වා මහතා ඇයව ද සොයිසා කාන්තා රෝහ‍ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ මහතා වෙත යොමු කළේය.

වෛද්‍ය රුවන්පතිරණ මහතා වෙත අයේෂාව යොමු කරන විටත් ගැබට සති අටක් ගත වී තිබුණි. රුවන් පතිරණ මහතාගේ උපදෙස් පරිදි අයේෂාව ස්කෑන් පරීක්ෂාවට ලක් කළේය. මෙහිදී ඇයගේ කුස තුළ දරුවන් හතර දෙනෙකු සිටින බව හෙළි විය. මෙම ස්කෑන් පරීක්ෂාව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා රෝහ‍ලේ විකිරණ විශේෂඥ වෛද්‍ය ජානක රාජපක්ෂ වෙත යොමු කළේය. මෙහිදී ඔහුගේ පරීක්ෂාවන්ට අනුව අයේෂාගේ කුස තුළ දරුවන් හතර දෙනෙකු සිටින බව වැඩිදුරටත් තහවුරු කර ගන්නා ලදි.

වෛද්‍යවරුන්ගේ මේ සොයා ගැනීමත් සමග අයේෂා සහ ලක්මාල් ඉමහත් සතුටට පත් වූයේ මෙලොව සිටින වාසනාවන්ත මව්පියවරුන් දෙපල ඔවුන් යැයි සිතමිනි.

සාමාන්‍යයෙන් දරුගැබක් මාස තුනක කාලය එළඹෙත්ම ගබ්සා වීමේ හැකියාව පවතින්නේය. එම නිසා අයේෂාව හොඳින් රැක බලා ගැනීම වෛද්‍යවරුන්ගේ මෙන්ම ඇය වටා සිටින අයගේ කාර්යභාරය විය.

එම කාර්ය අකුරටම ඉටු කළ වෛද්‍යරයෙක් වූයේ රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරී ප්‍රසව හා නාරිවේද වෛද්‍ය නිශාන්ත ප්‍රසාද් දිල්රුවන්ය. අයේෂාව රැක බලා ගත් වෛද්‍යවරුන් අතර ඔහු කළ සේවාවද අති විශාලය. මෙහිදී වෛද්‍ය ප්‍රසාද් දිල්රුවන් අප හා පැවසුවේ මෙවන් අදහසකි.

සාමාන්‍යයෙන් පළමු මාස තුන ඇතුළත දී දරු ගැබක් ගබ්සාවීමේ හැකියාව පවතිනවා. අපි ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් බබාලා දෙන්නෙකුට වැඩියෙන් කුස තුළ වැඩෙන විට එම දරු ගැබ ආරක්ෂා කිරීමට ඇස්පී්‍රන් ඖෂධය ලබා දීමෙන් එම අවදානම් තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන් කියලා අලුතින් සොයා ගෙන තියෙනවා. ඒ නිසා අපි මේ අම්මාට ඇස්ප්‍රින් ඖෂධය දෙන්න පටන් ගත්තා. ඒ වගේම ‍පෝලික් ඇසිට් වැඩි ප්‍රමාණයක් දුන්නා. ඒ විතරක් නොවෙයි සති 16න් පසුව බබාලාගේ ප්‍රශ්න එන්න පුළුවන් නිසා සති 12න් පරීක්ෂා කරලා සති දෙකෙන් දෙකට ස්කෑන් කරලා දරු ගැබේ වර්ධනයන් පරීක්ෂා කළා. දරුවන්ට උපතේදීම යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන් නිසා සති 22 සම්පූර්ණයෙන්ම දරුවන් පරීක්ෂා කළා. එහිදී අපට වැටහුණා දරුවන් හතර දෙනාම කිසිම ආබාධයක් නොමැතිව නිරෝගීව සිටින බ ව.

ඒ වගේම මේ වගේ මවක්, අවදානම් මවක් ලෙස සැලකෙනවා. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් මතු වෙන්න පුළුවන්. ඒ නිසා ගැබට සති 12ක් ගත වෙද්දි මවගේ දියවැඩියා පරීක්ෂා කළා. ඒ විතරක් නොවෙයි රුධිර පීඩනය පරීක්ෂා කළා. නැවත් සති 24න් දියවැඩියාව පරීක්ෂා කළා.

වෛද්‍ය ප්‍රසාද් ඇතුළු වෛද්‍ය කණ්ඩායම සිය සේවාව ඉහළින්ම ඉටු කළහ. අයේෂා අවදානම් තත්ත්වයේ පසු වූ මවක් බැවින් සති 29න් පසුව රෝහ‍ලේ නේවාසිකව රඳවා ගැනීමට වෛද්‍යවරුන් තීරණය කළේය. නමුත් ඇය නිවසේ රැඳී සිටීමට වැඩි කැමැත්තක් දැක්වූවාය. සිය සැමියාගේ හා දෙමාපිය සහෝදරයින්ගේ ආදරය ලබමින් සිටීමට ඇය ප්‍රිය කළ නමුත් දරුවන්ගේ හා ඇගේ ජීවිත අවදානම ඊට වඩා වැඩි බැවින් වෛද්‍යවරුන් ඇයව සති 29න් පසුව රෝහ‍ලේ නේවාසිකයව රඳවා ගැනීමට තීරණය කළේය. මෙසේ රෝහ‍ලේ රඳවා ගනිමින් ඇයව දිනපතා ස්කෑන් පරීක්ෂාවට ලක් කළේය. දරුවන් හතර දෙනාම කිසිදු ආබාධයකින් තොරව එළියට ගැනීමට නම් සති 32 ඉක්මවිය යුතු යැයි වෛද්‍යවරුන් තීරණය කළේය. එම තීරණයට අනුව සති 32යන තෙක් මව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය. මෙහිදී මවට කුස තුළ යම් වෙනසක් සිදු වන්නේ නම් ඒ බව වහාම වෛද්‍යවරුන්ට පවසන ලෙසද දැනුවත් කර තිබුණේය.

මෙහිදී මවට හුස්ම ගැනීමේ අපහසුතා මතු විය. ඇවිදීමේ අපහසුව ඇතිවන බැවින් පාදවල නහරයන්හි ‍ලේ කැටි සිරවීමේ අවදානමක් මතු වන්නේය. එම අවදානම් තත්ත්වය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම කටයුතු කළේය. දරුගැබට සති 33ක් දින තුනෙන් දරුවන් එළියට ගැනීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම තීරණය කළහ.

මෙම තීරණයන්ට අනුව අයේෂාව පසුගිය සඳුදා සූතිකාගාරය වෙත ගෙන යන ලදි. මෙහිදී සිදු කළ සිසේරියන් සැත්කම පිළිබඳව වෛද්‍ය ප්‍රසාද් අප හා තව දුරටත් විස්තර කළේය.

අපි අයේෂාව සූතිකාගාර වෙත ගෙන ගියා. එහිදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියන් වන සරෝජා ජයසිංහ අයේෂාගේ කොන්දට ඖෂධයක් එන්නත් කර ඇයව හිරිවට්ටා සිසේරියන් සැත්කම කිරීමට අවශ්‍ය වටාපිටාව සකස් කළා. මෙහිදී අපට බබාලා හතර දෙනාම ඉක්මනට පිටතට ගන්න වෙනවා. මොකද දරු ප්‍රසූතියේදී වැදෑමහ ගැලවෙනවා. ඒ අවදානම තියෙන්නේ තුන්වන හතරවන බබා ගැනීමේදී. ඒ නිසා ඉක්මනට බබාලාව එළියට ගන්න වෙනවා. හතරවෙනි බබාව එළියට ගන්නවත් එක්කම වැදෑමහ ගැලවුණා. ඒ නිසා දරුවන්ගේ ජීවිතවලට අනතුරක් වුණේ නැහැ. මවගේ ජීවිතයට වුණත් අනතුරක් සිදුනොවන ලෙස අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නා. දරුවන් හතර දෙනා නියමිත උපත් බරින් යුක්ත නොවූ නිසා නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඉදිරි දින කීපය ඇතුළත දරුවන් හතර දෙනාම මවට ලබා දෙන්න හැකි වේවි.

අයේෂා සහ ලක්මාල් මේ වන විට දියණියන් දෙදෙනෙකුගේ සහ පුතණුවන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේය.දරුවන් හතර දෙනෙකුගේ බරක් දරා සිටින විට ඔබට කුමක් සිතුණේදැයි අප කළ විමසුමකදී අයේෂා පැවසුවේ මෙවන් අදහසකි.

මට කියා ගන්න බැරි සතුටක් තියෙනවා. මම හීනෙකින්වත් හිතපු දෙයක් නොවෙයි මේ සිදුවීම. මගේ ජීවිතයේ සුන්දරම සිහිනයක් සැබෑ වුවක් කියලයි මට හිතෙන්නේ. ඇයගේ කථාවට එක්වෙමින් ලක්මාල් පැවසුවේ ඇයගේ මේ දරා ගැනීමේ වාසනාව ඇයට වගේම තාත්තෙක් ලෙස මටත් ලැබුණේ ගුවන් හමුදාවෙන් ලද පන්නරය නිසා බවය. කොහොම නමුත් එකවර මුතුකැට හතරක් අපට ලැබිම භාග්‍යයක්. ඒ සතුට කියා නිම කරන්න බැරි යැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම ඔවුන් දෙදෙනා ද සොයිසා කාන්තා රෝහ‍ලේ විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ හා ප්‍රසාද් දිල්රුවන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට විශේෂ ස්තූතිය පළ කිරීමට අමතක නොකළේය.කෙසේ නමුත් ලක්මාල් සහ අයේෂා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වන්නන් බැවින් ඔවුන් පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0718454372 යන ජංගම දුරකථන අංකයට ඇමතීමෙන් දැන ගත හැකි වන්නේය.

ශ්‍රියානි විජේසිංහ