විදෙස්ගත ඔබ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙද්දී පලතුරු රැගෙන ඒමට පුළුවන් ද? බොහෝ දෙනෙක් නොදන්නා නීතිමය පසුබිම මෙන්න

කුවේට් රාජ්‍යයේ සේවා කාලය අවසන් කර ලංකාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මළු තුල තිබූ මිදි, ඇපල් ආදී පලතුරු වර්ග කිහිපයක් කටුනායක ගුවන්තොටුපලේදී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරියෙකු භාරයට ගන්නා වීඩියෝවක් සමාජ ජාලා වල බොහෝ දෙනා අතර කතා බහට ලක් වුනා. වීඩියෝව නැරඹූ බොහෝ දෙනක් රේගු නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපන එල්ල කරමින් අදහස් පලකර තිබුනත් ඔවුන් බොහොමක් මෙහි ඇති නීතිමය පසුබිම ගැන දැනුවත් භාවයක් තිබුනේ නැති බවක් තමයි පෙනෙන්නට තිබුනේ.

ඇත්තටම ගුවන් මගීන් ලංකාවට පැමිණෙද්දී පලතුරු රැගෙන ඒමට බැරි ද?

ඉහත වීඩියෝව නැරඹූ හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා එහි නීතිමය පසුබිම හා එහි ඇති අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් සටහනක් තබා තිබුණි.

පලතුරු රැගෙන ඒමේ නීතිමය පසුබිම නොදන්නා විදෙස්ගත ශ්‍රී ලාංකික ඔබට එය වැදගත් වෙනු ඇතැයි හැඟී ගිය බැවින් අප එය පහතින් පල කරන්නෙමු.

“දැනට පවත්නා නීතිය අනුව, කිසිදු එළවලුවක් හෝ පළතුරක් ගුවන් (air freight – cargo and passenger terminal) මගින් මෙරටට රැගෙන ඒම නීති විරෝදී අතර පූර්ව අවසර හා අදාල බලපත්‍ර ලබාගෙන මුහුදු මාර්ග (sea freight) ඔස්සේ ආනයනය කල හැකි ලයිස්තුවක් පැහැදිලිව සදහන් කර ඇත.

එහිදී ප්‍රදානවම රටතුලට කෘමීන් හෝ කෘමි බිත්තර (ඇසට පෙනෙන හෝ නොපෙනෙන ) ඇතුලුවීම වැලක්වීම මුල්ලික පරමාර්තය වේ. ගුවන් මගින් රැගෙන එන එළවලු හා පළතුරු නිසි නිරෝධායනයක් (ie. fumigation, 14 days chemical or temperature treatment )කිරීම නොහැකි බැවින් පූර්ව අවසර හා අදාල බලපත්‍ර ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ ආනයනය කිරීමක් අනුමත කර ඇත. තවද මුහුදු මාර්ග ඔස්සේ ආනයනය කිරීමේදී විශේෂයෙන් පහත ද්‍රව්ය්ය රෑගෙන ඒම සීමා කර ඇත.

Coconut, Jack fruit/ Bread fruit, Tea, Kitul, Cinnamon, Cardamon (Except for fruit), Clove, Nutmeg, lime/ lemon (except exotic Citrus fruits), Coffee, All yams, Rice and plants of grass family, Rubber, Mango, Black pepper, Betel leaves, Sugarcane, Cocoa, Tobacco, Sweet potato, Cashew (Except for nuts), Taro (Alocasia), Palmyra, Papaya (Except for seed).

කිසිදු නිරෝධායන නිලධාරියෙකුට පිට රටින් රැගෙන් එන පළතුරු ඩැහැගෙන කෑමට තරම් අහේනියක් නැත. ඔවුන් කරන්නේ ඔවුනට නීතියෙන් පැවරී ඇති රාජ කාරිය කිරීමක් විය යුතුය.

කෙසේ නමුත් ඔබ ඔබේ දරුවාට පිට රටක (even from India) සිට ගමන් මල්ලේ සගවා ගෙනවිත් දෙන ඇපල් ගෙඩිය මිදි ගෙඩිය නිසා මෙරට සමස්ථ දරුවන්ටත් හෙට උපදින්න සිටින දරුවන්ටත් ආසාවට කෑමට හෝ දැකීමට දේශීය එළවලුවක් පළතුරක් ඉතිරි නොවනු ඇත.

දැනටමත් වසන්ගතයක් වී ඇති පලතුරු මැස්සා, සුදු පිටි මකුනා වැනි කෘමීන් හෝ කෘමි බිත්තර මෙරට එළවලු පළතුරු විනාස කරන විට ඔබ ඔබේ ආදරනීයයන් මෙනුවෙන් හොරෙන් ගෙනා ඇපල් මිදි වල තරම දැනෙනු ඇත. සමාජ ජාලවල පොර ටෝක්ස් දුන්නට ඒවනවිට ඔබ පමා වැඩිය. මක්නිසාදයත් ඔබ ඒවනවිටත් සමස්ථ ජාතියක සාපයට ලක්වී ඇත.

(පොල් ගෙඩියක්, දේශීය දෙළුම් ගෙඩියක්, දේශීය අඹ ගෙඩියක්, දේශීය කෙසෙල් ඇවරියක් රුපියල් 5000 කට වත් ගන්න නැති කොට පොඩි එකාට පිට රටක සිට ගමන් මල්ලේ සගවා ගෙනවිත් දෙන ඇපල් ගෙඩිය මිදි ගෙඩිය සිහි වනු ඇත…)”