යුද්ධ හමුදා ඉතිහාසයේ අපකීර්තිමත් පාවාදීම – මිලේනියම් සිටි

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්‍රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු.

අතුරුගිරියේදී කළ වැටලීම

2002 ජනවාරි 2වන දින රාත්‍රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්‍රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.

යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්‍රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.

දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක

කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා  එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී  උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ.

එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ.

අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.

තොරතුරු හෙලිවීමේ විපාක

නිදහස්‌ වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌ කරනවා.

මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.

පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි.

තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් කණ්ඩායමේ  ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා.

ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.