රටපුරා ෆේස්බුක් අඩවියේ වෙනසක්

කලබලකාරී සිදුවීම් වාර්තා වූ මහනුවර දිස්ත්‍රික්කයට සිය අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කිරීමට ඇතැම් දුරකථන සන්නිවේදන සමාගම් ක්‍රියා කර තිබෙනවා.

ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි.ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල 3G හා 4G අන්තර්ජාල සබදතා අක්‍රිය කර තිබෙනවා.

මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය , වට්ස්ඇප් වැනි සන්නිවේදන යෙදවුම්ද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම වෙබ් අඩවි හා යෙදවුම් ඔස්සේ සාමයට හානි විය හැකි දේ සිදු කරනා පුද්ගලයන් පිළිබදව ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිනු ඇති.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරන බවයි. ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින් හඳුනා ගැනීම එහි එක් අරමුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමටද හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවක සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ නෙත් නිවුස් පොලීසියෙන් විමසීමක් කළා.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ “සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් සන්නිවේදන ක්‍රම ඔස්සේ අසත්‍ය තොරතුරු, භීතිය, අප්‍රසාදය ඇතිවන ආකාරයට..ඒ වගේම සංහිඳියාවට බාධා එල්ල වන ආකාරයට එවැනි තොරතුරු සම්ප්‍රේෂණය කිරීම වැලැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය රාජ්‍ය නිලධාරීන්ට වගේම ව්‍යවස්ථාපිත ආයතනවලටත් මේ යටතේ පැවරෙනවා.” යනුවෙනි.

මේ අතර වර්තමානයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. ඒ සඳහා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හා පොලිස්පතිවරයාද පැමිණි බවද වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published.