මාදම්පේ තරුණයෙකු කිඹුලෙකු සමග පොරබදා දිවිබේරාගත් හැටි

සිය පාදයෙන් කොටසක් කඩාගෙන කෑ කිඹුලාට පහර දී දිවි බේරාගත් තරුණයෙකු පිළිබඳ තොරතුරු මාදම්පේ පැරණි නගරයෙන් වාර්තා වනවා.

මෙලෙස තම දිවි ගලවාගෙන ඇත්තේ 24 හැවිරිදි චානක මදුෂාන් නමැති අවිවාහක තරුණයෙක්.

පසුගියදා පස්වරුවේ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් මහවැව ප්‍රදේශයේ සිට නිවෙස බල යමින් සිටි මෙම තරුණයා දුරකථන ඇමතුමකට පිළිතුරු ලබාදීම සඳහා සිය යතුරුපැදිය මාදම්පේ ලුණු ඔය පාලම අසල නවත්වා තිබෙනවා.

එම ඔයෙහි ඉවුරට අඩි 2ක් පමණ ඈතින් තිබූ බැම්ම මත හිඳගෙන ඔහු දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දී තිබුණා.

පසුව සිදු වූ දෙය විස්තර කළ චානක මෙලෙස කියා සිටියා.

“එක පාරටම සද්දයක් ආවා. මං වතුර දිහා බැලුවා. ලොකු කිඹුලෙක් මං දිහාට පැන්නා. දුවන්න කාලයක් තිබුණේ නෑ. කිඹුලා මගේ දකුණු කකුල අල්ල ගත්තා. දණහිස ළඟට යනකම් මගේ කකුල උගේ කට ඇතුළට දාගත්තා. ඊට පස්සේ මගේ ෆෝන් 1 ඔයේ ඉවුරට විසිවුණා. ඌ බැම්මෙන් මාව පහලට ඇදගෙන ගියා. මං පස් තදකරගෙන හිටියා මාව වතුරට ගෙනියන්න නොදී. පස්සේ ඉවුරේ තිබ්බ පොඩි පඳුරු අල්ලාගෙන මං වම් කකුලෙන් හයියෙන් කිඹුලට ගැහුවා. දෙතුන් පාරක් තදින් ගැහුවා. ඒත් හරිගියේ නෑ. කිඹුලා මාව ඇදගෙන වතුරට ගියා.”

“මම පීනන්න දන්නෙත් නෑ. මගේ වම් කකුල ඔයේ පතුලේ ගැවෙනවා. මං වැඩේ අතෑරියේ නෑ. වම් කකුලෙන් කිඹුලට ගහගෙන ගහගෙන ගියා දකුණු කකුල අතාරිනකම්ම. පස්සේ ඌ මගේ පාරවල්වල සැරට කකුල අතෑරියා. මං ඉක්මනට බඩ ගාගෙන ගොඩට ආවා.”

සිය ක්‍රියාන්විතය විස්තර කළ චානක වැඩිදුරටත් පැවසුවේ එම ඔයෙහි කිඹුලන් සිටින වග තමන් නොදැන සිටි බවයි.

පසුව ඔහු ඔයෙහි ඉවුරට විසි වූ දුරකථනයෙන් සිය සොහොයුරා අමතා එම ස්ථානයට වහා පැමිණෙන ලෙස දන්වා තිබුණා.

එම තරුණයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පවුලේ සාමාජිකයින් කටයුතු කර තිබෙනවා.

අනතුරට පත් චානක මාදම්පේ සේනානායක ජාතික පාසලේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබා සරසවි වරම් ලද තරුණයෙකු බවයි අප වර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.