පිරිමින් හත් දෙනකු මරා දැමූ අයිලින් වුවර්නොස්

බොහෝ විට සීරියල් කිලර්ස් නොහොත් ද‌ාම මිනීමරුවන් ලෙස ප‍්‍රකටව ඇත්තේ පිරිමින්ය. විකෘති මානසිකත්වයකින් යුතු මෙම ද‌ාම මිනීමරුවෝ විවිධ ක‍්‍රම භාවිත කරමින් ඉතා අමානුෂික ලෙස අහිංසක මිනිස් ජීවිත බිලිගනිති. මොවුන් වෙතින් බොහෝ විට මරණයට පත්වන්නේ කාන්තාවන්ය. මෙවැනි පුද්ගලයෝ තම විකෘති කාමාසාව ඉටුකර ගැනීම සඳහා කාන්තාවන් ගොදුරු කරගෙන අවසානයේ ඔවුන් මරා දමති. මෙය ද‌ාමයක් සේ සිදුකරන හෙයින් මොවුන් හැඳින්වෙන්නේ ද‌ාම මිනීමරුවන් ලෙසිනි.

පිරිමින්ටත් වඩා දරුණු කාන්තා ද‌ාම මිනීමරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රටවලින් හමුවෙති. ඔවුන් අතුරින් ප‍්‍රකට ද‌ාම මිනීමරු කාන්තාවන් වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අයිලින් වූවර්නොස්, මයිරා හින්ඩ්ලේ සහ රෝස්මරී වෙස්ට් නමැති කාන්තාවන් තිදෙනාය. ද‌ාම මිනීමරුවන් බවට පත් කාන්තාවන්ගේ ඉතිහාසය සොයා බැලීමේදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් මව්පියන් අහිමිවීමෙන් හෝ අතහැර දමනු ලැබීමෙන් හෝ ළමාවියේ හෝ යොවුන්වියේදී අපයෝජනයට ලක්වීම මත හෝ සමාජය කෙරෙහි වෛරයෙන් පසු වී පසුකාලයේ මෙවැනි ක්‍රියාවලට යොමු වූවන් බැව් පෙනී යයි.

1989ත් 1990ත් අතර වසරක කාලයක් තුළ පිරිමින් සත් දෙනකු ඝාතනය කර ඇති අයිලින් වුවර්නොස්ද ළමාවියේ මව්පියන් විසින් අත්හැර දමනු ලැබ පසුව අපයෝජනයට ලක්වූ කාන්තාවකි. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ගණිකාවක වශයෙන් සේවය කළ අයිලින් වෙතින් ඝාතනය වූයේ ඇයගේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් ඇය හා ලිංගිකව එක්වන්නට උත්සාහ කළ පිරිමින්ය. එවැනි පිරිමින් සත් දෙනකු ඇය ඉතා ආසන්න දුරක සිට වෙඩි තබා ඝාතනය කර ඔවුන් සතු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා තිබිණි.

අයිලින් වුවර්නොස් 1956 පෙබරවාරි 20 දින මිචිගන් ප‍්‍රාන්තයේදී උපත ලැබූවේ අයිලින් කැරල් පිට්මන් ලෙසිනි. ඇගේ මව වූ ඩයන්, අයිලින්ගේ පියා වූ ලියෝ ඩේල් පිට්මන් සමඟ විවාහ වනවිට 14 හැවිරිදි දැරියකි. අයිලින්ගේ උපතට මාස දෙකකට පෙර ඩයන් ඔහුගෙන් වෙන් වූ හෙයින් අයිලින් තම පියා කිසි දිනෙක දැක තිබුණේ නැත. කුඩා දරුවන් අපචාරයට ලක් කිරීමේ චෝදනාවක් මත සිරගතව සිටි ලියෝ සිරමැදිරිය තුළදී ගෙළ වැළ ලා සිය දිවි නසාගෙන තිබිණි.

අයිලින්ට වැඩිමහලු සොහොයුරෙක්ද සිටියේය. සැමියාගෙන් වෙන්ව සිටි ඩයන් තම දරු දෙදෙනා සිය මව්පියන් භාරයේ තබා රහසින් පලා ගිය අතර ඉන්පසු ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් නොවිණි. ඒ වනවිට අයිලින්ගේ වයස අවුරුදු 4කි. මව විසින් අත්හැර දමන ලද දරුවන් රැකබලා ගනු ලැබුවේ ඩයන්ගේ මවුපියන් විසිනි.

ඩයන්ගේ පියා අධික බේබද්දකු විය. අයිලින් ඔහු වෙතින් අපයෝජනයට ලක් වූයේ 11 හැවිරිදි දැරියකව සිටියදීය. තම සීයා වෙතින් නොකඩවා අපයෝජනයට ලක්වූ අයිලින් 14 හැවිරිදිව සිටියදී ගැබිනියක බවට පත් වූවාය. ඇයට පුතකු ලැබුණු අතර ඔහු වෙනත් පවුලකට හදාවඩා ගැනීමට දීමට සිදුවූයේ දරුවකු පෝෂණය කිරීමට තරම් ඇය මුහුකුරා ගොස් නොමැති වූ බැවිනි. පසුව පාසලේ තරුණයන් සමඟ ආහාර ටිකකට, සිගරට්ටුවකට හෝ මත්ද්‍රව්‍ය ස්වල්පයකට ලිංගිකව එක්වන්නට ඇයට සිදුවිය. මුදල් අවශ්‍ය වූ විට ඇය සිය සොහොයුරා සමඟද ලිංගිකව එක්වූ බැව් පැවසේ. පසුව සීයා 15 හැවිරිදි දැරිය නිවෙසින් එළවා දැමුණු හෙයින් ඇයට ගණිකාවක ලෙස ජීවිතය ගෙන යාමට සිදු වූ අතර ජීවත්වීමට සිදුවූයේ සීයාගේ නිවෙස අසල පිහිටි වන ලැහැබක යාන්තමින් අටවා ගත් කුටියකය.

1974 වසරේ ගිනිඅවි භාවිතය හා නොහික්මුණු හැසිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි අයිලින් කොලරාඩෝ ප‍්‍රාන්තයේදී පොලිස් අත්අඩංගුවට පත්ව පසුව නිදහස් කෙරිණි. 1976දී ෆ්ලොරීඩා යාත‍්‍රා සමාජයේ සභාපතිවරයා වූ 69 හැවිරිදි ලූවී ග‍්‍රාට් ෆෙල් සමඟ සබඳතාවක් ගොඩනඟාගත් ඇය එම වසරේ ඔහු හා විවාහ වූවාය. එහෙත් ඇයට යහපත් විවාහ දිවියක් ගතකිරීමට නොහැකි විය. සමාජශාලා ජීවිතයට හුරු වූ ඇය අධික ලෙස මත්පැන් පානය කොට විවිධ පුද්ගලයන් හට පහර දුන්නාය. එවන් සිදුවීම් මත අවස්ථා ගණනකදී පොලිස් අත්අඩංගුවට පත්වීමට හා සුළු සිර දඬුවම් විඳින්නට ඇයට සිදු විය. අවසානයේ මාස ගණනක් පැවැති විවාහයද අවසන් විය.

1976 දී ඇයගේ සොහොයුරා වූ කීත් පිළිකා රෝගයෙන් මරණයට පත් වූ හෙයින් ඔහුගේ රක්ෂණ වන්දිය වූ ඩොලර් 10,000ක මුදලක් ඇයට හිමි විය. එම මුදලින් සුඛෝපභෝගී ලෙස ජීවත්වන්ට උත්සාහ කළ ඇය මුළු මුදලම මාස දෙකකින් වියදම් කළාය. අවසානයේ ඇයට යළි මහමගට බසින්නට සිදුවිය.

1981දී ඇය පොලිස් අත්අඩංගුවට පත් වූයේ වෙළෙඳසැලක් බිඳ ඩොලර් 35ක් සහ සිගරට් පැකට් දෙකක් සොරකම් කිරීමේ චෝදනාව යටතේය. මසක සිර දඬුවමකට යටත් කෙරුණු ඇය ඉන් නිදහස්ව පැමිණ මඳ කලකින් යළි අත්අඩංගුවට පත් වූයේ ව්‍යාජ චෙක්පතක් මාරු කිරීමට උත්සාහ කළ අවස්ථාවකය. එම වරදට කෙටි සිර දඬුවමක් විඳි ඇය නිදහස්ව පැමිණ මාස දෙකකට පසු යළි අත්අඩංගුවට පත් වූවාය. එවර ඇයට ඉදිරිපත් වූ චෝදනාව වූයේ මෝටර්රථයක්, පිස්තෝලයක් සහ උණ්ඩ සොරකම් කිරීමය. එම පිස්තෝලය එල්ල කර ඇය එක්තරා පුද්ගලයකුගෙන් ඩොලර් 200ක් සොරකම් කර තිබුණාය.

ඇයට ඩේටන් බීච් සමලිංගික සමාජශාලාවේ වේටර්වරියක වූ ටයිරියා මුවර්ස් හමුවූයේ එම වරද සඳහා කෙටි කලක් සිර දඬුවම් විඳ නිදහස ලබා පැමිණ සිටි කාලයේය. ටයිරියා සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟා ගත් අයිලින් කුඩා කාමරයක් කුලියට ගෙන ඇය හා සමලිංගික ජීවිතයක් ආරම්භ කළාය. දෙදෙනාගේ වියදම් සොයා ගැනීම සඳහා අයිලින් ගණිකා වෘත්තියේ නියැලුණාය. 1988 සමාජශාලාවක ඇති වූ අරගලයකදී බස් රථ රියැදුරකුට පහරදීම සම්බන්ධයෙන් ඇය යළිත් අත්අඩංගුවට පත් වූවාය.

නිදහස ලබා පැමිණි ඇය යළිත් සුපුරුදු වෘත්තියට පිවිසියාය. එහෙත් වැඩි කලක් ඇයට සාමයෙන් ජීවත් විය නොහැකි විය. සිය වෘත්තියේ නියැලෙමින් සිටියදී ඇයට බලහත්කාරකම් කිරීමට තැත්කළ පුද්ගලයන් සත් දෙනකු ඇය මරා දැම්මාය. 1989දී ස්ත්‍රී දූෂකයකු වශයෙන් ප‍්‍රකට 51 හැවිරිදි රිචඩ් මැලෝරි නමැති පුද්ගලයා ඇයගේ පළමු ගොදුර විය. වෙඩි පහර කිහිපයකට ගොදුරු වී මියගිය ඔහුගේ සිරුර මහ මඟ තිබී පොලිසියට හමු විය. අයිලින්ගේ දෙවැනි ගොදුර වූයේ ඩේවිඩ් ස්පියර්ස් නමැති 43 හැවිරිදි ඉදිකිරීම් සේවකයෙකි. වෙඩි පහර හයක් සහිතව ඔහුගේ නිරුවත් සිරුර මාවතක් අසල තිබී පොලිසියට හමුවිය. චාල්ස් කාර්ස්කඩන් නමැති 40 හැවිරිදි පුද්ගලයකු ඇයගේ තුන්වැනි ගොදුර වූ අතර ඔහුගේ සිරුරේ වෙඩි පහර 9ක් දැකිය හැකි විය. ඇයගේ සිව්වැනි ගොදුර වූයේ 65 හැවිරිදි පීටර් සීම්ස් නමැති නාවිකයෙකි. ඔහුගේ සිරුර කිසිදිනෙක හමු නොවූ අතර එම පුද්ගලයාගේ මෝටර්රථයේ තිබූ අයිලින්ගේ ඇඟිලි සටහන්වලින් ඇය මෙම මිනීමැරුමට සම්බන්ධ බවට පොලිසිය විසින් අනාවරණ කර ගැනිණි.

50 හැවිරිදි වෙළෙඳ සේවකයකු වූ ට්‍රෝයි බරෙස් ඇයගේ ඊළඟ ගොදුර විය. ඔහුගේ සිරුරේ වෙඩි පහර දෙකක් දැකිය හැකි විය. 56 හැවිරිදි චාල්ස් හම්ප්‍රේ විශ‍්‍රාමික ගුවන් හමුදා මේජර්වරයකු විය. 1990 සැප්තැම්බර් මාසයේ හිසට වැදුණු වෙඩි පහර 6ක් සහිතව මියගොස් සිටි ඔහුගේ සිරුර පොලිසියට හමු විය. එම ඝාතනයද අයිලින් විසින් කරන ලද්දක් බවට පොලිසිය අනාවරණ කර ගත්තේය. 62 හැවිරිදි ට‍්‍රක්රථ රියැදුරකු වූ වෝල්ටර් අන්තෝනියෝ අයිලින්ගේ අවසන් ගොදුර විය. වෙඩිපහර හතරක් වැදී මියගිය ඔහුගේ මළ සිරුරද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මේ සියලු පුද්ගලයෝ අයිලින් වෙතින් ඝාතනය වූයේ ඔවුන් ඇය බලහත්කාරයෙන් දූෂණය කිරීමට තැත් කළ බැවිනැයි නඩු විභාගයේදී ඇය කියා සිටියාය.

ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටි පොලිසියට ඒ සඳහා වගකිව යුතු පුද්ගලයා අයිලින් යන්න සනාථ විය. අනතුරකට ලක් වී අත්හැර දමා තිබූ මෝටර් රථයක් පොලිසියට හමු වූයේ මේ අතරය. එම මෝටර් රථය පිළිබඳ විමර්ශන කටයුතු කළ නිලධාරීන්ට එම රථය පදවන ලද්දේ කාන්තාවක බවත් එහි තවත් කාන්තාවක සිටි බවටත් සාක්ෂි ලැබිණි. මෝටර් රථයේ තිබී අයිලින්ගේ හා ටයිරියාගේ ඇඟිලි සලකුණු හමු වූ අතර එම මෝටර් රථය ඝාතනය වූ පීටර් සීම්ස්ගේ බැව් අනාවරණ විය. අයිලින් පිළිබඳව මාධ්‍ය මගින් ප‍්‍රචාරය කෙරුණු අතර එම තොරතුරු මත අයිලින් විසින් උගස් කරන ලද සීම්ස්ට අයත් රන් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

1991 ජනවාරි 9 දින ෆ්ලොරීඩාහි ලාස්ට් නමැති සමාජ ශාලාවේ සේවය කරමින් සිටි අයිලින් විශේෂ වරෙන්තුවක් මත පොලිස් අත්අඩංගුවට ගැනිණි. පසුදින පෙන්සිල්වේනියාවේ සිටි ටයිරියා මුවර්ස්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. තමාට පොදු සමාවක් ලැබේ නම් රජයේ සාක්ෂිකාරියක වීමට කැමැත්ත පළ කළ ටයිරියා අයිලින්ට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වූවාය.

ටයිරියා අත්අඩංගුවට ගත් පොලිසිය ඇය රැගෙන ෆ්ලෝරීඩාවට පැමිණියේය. එහිදී අයිලින් හට දුරකතන ඇමතුමක් දුන් ටයිරියා ඝාතනවලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට පොලිසියට ප‍්‍රකාශ කරන මෙන් අයිලින්ගෙන් ඉල්ලා සිටියාය. තමා මේ සියලු ඝාතන සිදු කළ බවට අයිලින් 1991 ජනවාරි 16 දින පාපෝච්චාරණය කළාය.

මැලෝරි ඝාතනය සම්බන්ධයෙන් ඇයට නඩු පැවරිණි. ටයිරියාගේ පාපෝච්චාරණය අනුව ඇය එම මිනීමැරුම සිදුකළ බවට සනාථ විය. දඬුවම් නියම කිරීම පෙර ඇයගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට අධිකරණය තීන්දු කළේය. එහිදී අනාවරණ වූයේ ඇය මානසික ආබාධ දෙකකින් පෙළෙන බවටය. කෙසේ වුවද අවසානයේ මනුෂ්‍ය ඝාතනය සඳහා ඇයට මරණ දඬුවම නියම කෙරිණි. 1992 ජනවාරියේ සිට මැයි දක්වා තවත් නඩු තුනක් පැවැති අතර ඒවායින්ද ඇයට හිමි වූයේ මරණ දඬුවමය.

1992 කාර්ස්කඩන් ඝාතනය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් ඇයට පස්වන වරට මරණ දඬුවම නියම වූ අතර අන්තෝනියෝ ඝාතනය සම්බන්ධයෙන් සයවන වරටත් මරණ දඬුවම නියම කෙරිණි. සීම්ස්ගේ සිරුර හමූ නොවූ හෙයින් එම ඝාතනයට ඇය වරදකාරියක නොවූවාය. තමා ආත්මාරක්ෂාව සඳහා මෙම පුද්ගලයන් ඝාතනය කළ බැව් අයිලින් ප‍්‍රකාශ කළද ඇය ඔවුන් සතු මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන මොවුන් ඝාතනය කළ බවට අධිකරණය තීන්දු කළේය.

මරණ දඬුවම් 6කට නියම වූ අයිලින් රඳවනු ලැබ සිටියේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත සිරගෙදරය. මරණ දඬුවමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කෙරුණු අභියාචනය ප‍්‍රතික්ෂේප වූ අතර 2002 ඔක්තෝබර් 2 දින උදැසන 9.47ට විෂ එන්නතක් ලබාදීමෙන් අයිලින්ගේ දිවි තොර කෙරිණි. 1976න් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම හිමි වූ දසවැනි කාන්තාව හා ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ දෙවැනි කාන්තාව වූයේ අයිලින්ය.

අවුරුදු 46දී ජීවිතයෙන් සමුගත් අයිලින්ගේ කතාව පාදක කර කෘති කිහිපයක්, ඔපෙරාවක්, වාර්තා චිත‍්‍රපට හා වෘත්තාන්ත චිත‍්‍රපටයක්ද නිර්මාණය වූයේය. ඒ අතුරින් වඩාත් ජනප්‍රිය වූයේ 2003 පැටී ජෙන්කිංග්ස් අධ්‍යක්ෂණය කළ ‘මොන්ස්ටර්’ නමැති චිත‍්‍රපටයයි. එහි අයිලින්ගේ චරිතය නිරූපණය කරන ලද්දේ චාලිස් තෙරොන් විසිනි. ඇය ඉතා විශිෂ්ට ලෙස එම චරිතය රඟපෑ අතර හොඳම නිළිය ලෙස ඇකඩමි හා ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවාය.